සිතට සතුට ලැබෙන එක මොහොතකට හෝ අපි බෙහෙවින් ආශා කරන්නෙමු. සතුට එතරම්ම අපේ ජීවිතයට වැදගත් ය. සතුට රඳවාගන්නට – කැඳවාගන්නට හැකි ක්‍රම පිළිබඳව අපි විසි හතර පැයේම කල්පනා කරන්නෙමු. සැබවින්ම අපට සතුට ලැබෙන්නේ මුදලින්ද ? ධන ධාන්‍යයෙන් ද ? ඇතැමකු සතුව එබඳු ලයිස්තුවක් ම තිබෙන්නට පුළුවන. එහෙත් අප කල්පනා කරන්නේ මතු දවසක සතුට ළඟා කළ හැකි දේ අතර අධ්‍යාපනය ඉදිරියෙන්ම තිබෙන බවයි.
මේ සතුට හා අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාවය ගැන කතා කරන විට අපට අමතක කළ නොහැකි රාජ්‍යයක් වන්නේ ෆින්ලන්තය යි. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකෙන්නේ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයයි. එමෙන්ම ලොව සතුටින්ම සිටින රාජ්‍යයන් අතර ද ඉදිරියෙන්ම සිටින්නේ ෆින්ලන්තයයි. ලොව සතුටින් ජීවත්වන ජනතාව සිටින රට සහ ලොව හොඳම අධ්‍යාපනය ඇති රට යන දෙඅංශයෙන්ම ඉදිරියටම ඒමට එකම රටකට හැකිවීම ගැන අදහස් දක්වන විශ්ලේෂකයන් කියන්නේ සතුට හා අධ්‍යාපනය අතරද අන්‍යෝන්‍ය බැඳීමක් ඇති බවයි. තවත් විදියකින් කිවහොත් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන රටක ජනතාව සතුටුදායක ජීවන ක්‍රමයකට යොමුවන අතරම එම සතුටුදායක වටපිටාව තුළ ඔවුහු යහපත් අධ්‍යාපනයකටද යොමුවන බව විශ්ලේෂකයන්ගේ විග්රහයයි.
ඉහළ සාක්ෂරතාවයක් මෙන්ම ඉහළ ජීවන තෘප්තියකින් යුතු ශිෂ්‍ය ප්‍රජාවක් ජීවත් වන්නේ ෆින්ලන්තයේ යි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය මේ සියල්ලට මග සලසා ඇති බවයි. මෙයට ඉතා තදින් බලපාන්නා වූ කාරණාවක් වන්නේ ෆින්ලන්ත සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය හා විවේක කාලය ඉතා යහපත් ලෙස සමබර කරගෙන යන්නට ඉඩක් ලැබීමයි. ඉතා ඉහළ මට්ටමේ විවේක කාලයක් ලැබීම තුළින් ඔවුනට වැඩි වැඩියෙන් විවිධ අන්දමේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නට අවස්ථාවක් උදාවෙයි.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය වසර ගණනක කැපවීම්වල හා වසර ගණනාවක සැලසුම්වල ප්රතිඵලයකි. එය ඉතා සාර්ථක අඩියකට එළැඹෙන්නට හේතු වචනයෙන් දෙකෙන් විස්තර කළ නොහේ. ෆින්ලන්ත අධ්‍යාපනය ගැන කතා කරන විට එහි සාර්ථකත්වයට හේතු වූ විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය.